දුවා දරුවන්ගේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල – 2018

latest work

බොදු සමුළුවේ ළමාරක්ෂක මණ්ඩලය මගින් පාලනය වන ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල දුවා දරුවන්ගේ ක්‍රීඩා උත්සවය පසුගිය පෙබරවාරි මස  17වන දින කොළඹ 08 කැම්බල් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. මේ සඳහා බොදු සමුළුවට අයත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන 17 ක දරුවන් 700 කට අධික ප්‍රමාණයක් සහභාගි විය.

ක්‍රීඩා පිටිය පුරා වෛවර්ණ පාටින් දිළිසෙන කොඩි වැල් අතරින් තැනින් තැන අලංකාරව ඉදිවුණු නිවාස 17 න්ම එළිදැක්වුයේ මෙම දරුවන්ගේ සැබෑ හපන්කම්ය. මීටර් පනහ, සියය, උසපැනීම, දුර පැනීම, සහාය දිවීම, කඩුලූ පැනීම ආදී පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක දැකිය හැකි සියලූම තරග ඉසව්  මෙම ක්‍රීඩා උළෙලේදී දැක ගත හැකි විය. තවද කුඩා දරුවන් හට විවිධ ඇඳුම් තරග, සංගීත පටු තරගය, බනිස් කෑම, බැලූම් පිපිරවීම ආදී තරගයන් ද මෙහිදී අපහට දැකගත හැකි විය.

තමන් භාරව ඉන්නා පාලක පාලිකාවන්ගේත්, නිවාස වල එකට හැදෙන වැඩෙන සහෝදර සහෝදරියන්ගේත් ජය ඝෝෂා මැද්දේ දරුවෝ සතුට ඛෙදා ගත්තේ ඒ ඒ සහෝදර සහෝදරියන් අතරමයි. වැදූ අම්මා ළඟට ගිහින් අම්මේ මම දිනුවා. තාත්තා ළඟට ගිහින් තාත්තේ මම දිනුවා කියන්නට අම්මා තාත්තා ළඟ නොසිටියත් ඔවුන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් ඔවුන් සතුටු වනවා දැක අප කාගෙත් ඇහැට කදුළු ඉනුවේ අපටත් නොදැනීමය. ක්‍රමක් ක්‍රමයෙන් ක්‍රීඩා පිටියට වැටුන හිරු කිරණ පහව යමින් සන්ධ්‍යා කාලය උදාවනවාත් සමඟ දෙමාපිය සෙනෙහස අහිමි මෙම දූවා දරුවන්ගේ දක්ෂතා බලා ඔවුනට තෑගි සහ සහතික පත්‍ර ලබාදී ඔවුන් දිරිමත් කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතාගේ ආරාධනයෙන් ගරු අධිකරණ අමාත්‍ය හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මැතිණියගේ ප්‍රධානත්වයෙන් ජර්මන් රොසන් කින්ඩර් ආයතනයේ සභාපතිතුමා ඇතුළු සාමාජික මහත්ම මහත්මීන් ද ඇතුළු මෙරට විශාල පිරිසක් පැමිණ සිටියහ.

ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කිරුළ පැළැන්දේ හික්කඩුව බරණසුරිය ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සංජීව ප්‍රදිප්ය. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිරුළ පැළැන්දේ කොළඹ 08 මෛත්‍රී ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ එල්.එච්. ප්‍රමෝදි තක්ෂිලාය. අලංකාරම නිවාසයට හිමි ජගත් සුමතිපාල අභියෝගතා කුසලානය දිනාගන්නා ලද්දේ වාද්දූව තුඩාව ළමා සංවර්ධන මධ්‍යස්ථානයයි. සෑම අතින්ම දක්ෂතා ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථානයට හිමි ආචාර්ය මිලිනා සුමතිපාල අභියෝගතා කුසලානය හිමි කර ගත්තේ නුගේගොඩ ගංගොඩවිල බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයයි

« 1 of 4 »

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි