කාන්තා අභිවෘද්ධි සංසඳය විසින් නිවසක් පරිත්‍යාග කිරීම

work done

අප සංසදයේ නිලධාරි මණ්ඩලයේ සාමාජිකාවන්ගේ සහයෝගය ඇතිව කාන්තාවන්ගේ ප්‍රගතිය සඳහා ධෛර්යයෙන් යුතුව කටයුතු කරන ලදී. කවදත් අසරණයින්ට පිහිට වන අප සංසදය 2015 දෙසැම්බර් මස ජාතික රෝහලේ අංග විකල වාට්ටුවට විකලාංග උපකරණ පරිත්‍යාග කරන ලදී. එසේම 2015 දෙසැම්බර් මස 19 වෙනි දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වාර්ෂික පිරිත් පිංකමට සාමාජිකාවන් සියලූ දෙනාම සහභාගී වු අතර, පිරිකර සඳහා ද මුදලින් ආධාර කරන ලදී.

2016 වර්ෂයේදී මැයි මස 19 වෙනි දින අසරණ යුවතියක් විවාහ කර දීම සඳහා කටයුතු පිළියෙල කර තිබුණි. ජාතික රෝහලේ වෛද්‍ය සවිත්‍රි පෙරේරා මෙනවියගේ ඉල්ලීම මත රුචිනි ත්‍රිමංගල මෙනවිය හා අසිත කැලූම් තරුණයාගේ විවාහය සඳහා සංසදයේ සියළු සාමාජිකාවන් අනුග්‍රහය ලබා දුනි. මංගල මුදු, ඇඳුම් පැලඳුම් සහ උදෑසන තේ පැන් සංග්‍රහය, දිවා භෝජන සංග්‍රහය ආදී සියළු දේ සාමාජිකාවන්ගේ මුල්‍යමය ආධාර මත සිදු විය. විනිතා විතානගේ මහත්මිය රු.10,000/= ක්ද, රමණි කුරේ මහත්මිය රු.25,000/= ක්ද විවාහයට පෙර පිරිනැමීය. වෝග් ජුවලර්ස් අධිපතිනි චන්ද්‍රා හේමචන්ද්‍ර මහත්මිය සහ ගරු සභාපතිනි කුමාරි වන්නිආරච්චි මහත්මිය විසින් මංගල මුදු සඳහා දායකත්වයද, අනෙක් සියළුම සැරසිලි ආදිය සංසදයේ සාමාජිකාවන් විසින් ඉටු කෙරිනි. මංගල්‍යයේ දෙපාර්ශවයේ ඥාති මිතුරන් හා සංසදයේ සාමාජිකාවන්ද, බෞද්ධ මහා සම්මේලනයේ නිලධාරින් සහ කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.

2016 මාර්තු මස 08 වැනි දින කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු 11 දින ස්වයං රැකියා කරන කාන්තාවන් 12 දෙනෙකු සඳහා රු.5,000/= බැගින් ආධාර ලබා දී උත්කර්ෂවත් උත්සවයක් පවත්වන ලදී. මෙහිදී වෛද්‍ය ලසන්තා ගනේවත්ත මහත්මිය කාන්තා රෝග පිළිබඳව ද, මහරගම පිළිකා තරුණ සංගමයේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පිළිකා රෝග පිළිබඳ දේශනයක් ද පවත්වා පැමිණි සියළු දෙනාම දැනුවත් කළහ. එදින සාමාජිකාවන් විසින් ස්ව කැමැත්තෙන් ප්‍රණීත තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විය. පෝෂණවේදිනි තස්රීන් මුසාන් මෙනවිය ද සාරවත් දේශනයක් කළ අතර, අප සංසදයේ සාමජික රොෂානි කුරේ මෙනවිය ආහාර සැකසීම පිළිබඳ ප්‍රායෝගිකව සාමාජිකාවන් දැනුවත් කළහ.

අප කාන්තා සංසදය වෙත නිවාස තනා දෙන ලෙස ඉල්ලා ලිපි එවා තිබුණත්, එක් වසරකට එක නිවසක් තනා දීමට අප තීරණය කර තිබුණි. ඒ අනුව ගරු භාණ්ඩාගාරික තුමිය විසින් තෝරා ගත් හොරණ, මොරගහහේන පදිංචි අසරණ පවුලකට නිවසක් තනා දීමට දැනට කටයුතු කරමින් ඇත. මෙම වසරේදී එය සම්පුර්ණ කර නිවස අයිතිකරුට භාර දීමට ක්‍රියා කරනු ඇත.

2016 සැප්තැම්බර් මස 15 දින ආගමික මණ්ඩලය විසින් සංවිධානය කළ සාමනේර ස්වාමින්වහන්සේලා 60 නමක් විෂයෙන් පැවැත් වු සංඝගත දක්ෂිණාව සඳහා රු.10,000/= ක් පිරිකර සඳහා පිරිනැමුහ. 2016 ඔක්තෝම්බර් මස 28 වන දින රාජගිරියේ වික්ටෝරියා ආබාධිත නිවාසයේ උපකරණවල අඩුපාඩු ඇති බව දන්වා ඒවා තිබු බවත්, ඒ අනුව අප සංසදයේ සාමාජිකාවන් සිය පෞද්ගලික ධනය පරිත්‍යාග කර එම උපකරණ ලබා දුනි.

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2017. සියළුම හිමිකම් ඇවිරිණි

සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම මගින් නිර්මාණය කරන ලදි