“ගමයි පන්සලයි” ව්‍යාපෘතිය

work done

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතාගේ සංකල්පයක් අනුව 2015 වසරේදී ගමයි පන්සලයි වැඩසටහන ආරම්භ කරන ලදී. මෙහි පරමාර්ථය වූයේ නොදියුණු ගම් වල ජනතාවගේ ජීවන තත්වය නගා සිටු වීමට පන්සල හරහා ශක්තිය සැපයීමයි.2015 වෙසක් උත්සවයට එකතු කරන ලද මුදලින් ඉතිරිවූ මුදල 2015 වර්ෂයේ බෞද්ධාලෝක වෙසක් උත්සව කමිටු සභාපති සෙන්පති සුදත් මඩුගල්ලේ විසින් ප්‍රථමයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා යෙදවිය.

2015 රාජ්‍ය පොසොන් උත්සවය පවත්වන ලද්දේ ආනමඩුවෙහිය.  සභාපති ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා හා උපසභාපති සෙන්පති සුදත් මඩුගල්ලේ මහතා විසින් කොළඹ සිට ජනප්‍රිය ධර්ම දේශක ස්වාමීන් වහන්සේ වැඩමවා එවැනි දුර පලාතක ධර්ම දේශනා පැවැත්වීම සියල්ලන්ගේ සතුටට හේතු විය.

එමෙන්ම 2015 පොසොන් උත්සවයේදී කරුවලගස්වැව ප්‍රදේශයේ පොසොන් කලාපයක් පැවැත්විය. එහිදී  භක්ති ගීත, පහන් කූඩු තරග පවත්වා අනුරාධපුරයට යන මග දෙපස බෞද්ධ කොඩි හා විදුලි පහන් වලින් ආලෝක කොට පැවැත්වීමට හා ත්‍යාග ප්‍රදානයට මූල්‍ය ශක්තිය ලබා දීමත් ගමයි පන්සලයි වැඩසටහන යටතේ  කරුවලගස්වැව – මහකෝන්ගස්වැව විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සිදු කරන ලදී. මෙම වැඩසටහන් වලට අපගේ සම්මේලන උපසභාපතිවරුන් වන ලක‍ෂ්මන් කෝට්ටගේ මහතා හා වෛද්‍ය රානි ප්‍රනාන්දු මහත්මිය දායකත්වය සපයන ලදී.

උතුරු පලාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව වෙසෙන එකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වැලිඔය වේ. සිංහල ජනතාව නැවත පදිංචිකර සිටින කල්‍යාණපුර ගම්මානයේ ජීවන තත්වය නගාසිටුවීමට වැඩසටහන් මාලාවක් දියත් කරන ලද්දේ ගමයි පන්සලයි ව්‍යාපෘතිය හරහාය.

මොනරවැව මයුරවාපී විහාරය

වැලිඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මොනරවැව ගම්මානයේ මයුරවාපි විහාරය කේන්ද්‍ර කරගෙන ගමයි පන්සලයි වැඩසටහන 2015 වසරේ ආරම්භ කරන ලදී. විහාරාධිපති වැලිඔය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය රණවන ධම්මින්ද හිමිපාණන්ගේ අනුශාසනා පරිදි එම පන්සලේ එවකට පැවති වරිච්චි බිත්ති හා ටකරන් වහලයෙන් සෑදුන ධර්මශාලාව වෙනුවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූල්‍ය දායකත්වයෙන් නව ධර්ම ශාලාවක් තනා නිමකර පූජා කරන ලදී.  මේ සඳහා උප සභාපති සෙන්පති සුදත් මඩුගල්ලේ මහතා යුධ හමුදාව හා මනා සම්බන්ධීකරණයක් ඇති කර ශ්‍රම දායකත්වය ගම්වැසියන්ගේද සහභාගීත්වය ඇතිව ලබා ගන්නට කටයුතු කරන ලදී.

ධර්මශාලාව හා දහම්පාසල සඳහා භාවිතා වූ පැරණි ගොඩනැගිල්ල

කල්‍යාණපුර වැසිකිලි ව්‍යාපෘතිය

කල්‍යාණපුර ගම්මානයේ නැවත පදිංචි කරවූ ජනතාවට ඇති දුෂ්කරතා ඉමහත්ය. ඒ හේතුව නිසාම පදිංචි කරන ලද පවුල් සියයෙන් (100) පවුල් තිහක්ම ආපසු ගම්බිම් බලා ගොස් තිබුණී. ඉතිරි නිවාස (70) හැත්තෑවටම වැසිකිලි පහසුකම් නොවීය. එක් වැසිකිලියක් තනා නිමකිරීමට ඇස්තමේන්තුව රුපියල් හතලිස් දහසක් විය. අප උපසභාපති සෙන්පති සුදත් මඩුගල්ලේ මහතා යුද හමුදාව සමඟ සම්බන්ධීකරණය කර ශ්‍රමය යුද හමුදාවෙන් හා ගම්වාසීන්ගෙන් සපයාගෙන රුපියල් විසිදහසක් වටිනා ගොඩනැගිලි ද්‍රව්‍ය හා සනීපාරක්ෂක භාණ්ඩ සපයා වැසිකිලියක් නිමකරවා දීමට කටයුතු සලස්වන ලදී.

මෙම වැසිකිලි සඳහා දානපතියන්ගේ මූල්‍යාධාර ලැබිණි. වෛද්‍ය රානි ප්‍රනාන්දු මහත්මිය විසින් එක්සත් රාජධානියේ වෛද්‍යවරුන්ගෙන් වැසිකිලි තිස්පහකට මුදල් සොයාගත් අතර ආදී අනුලාවන් වැසිකිලි පහකට මූල්‍ය දායකත්වය ලබා දුනි.

ගමයි පන්සලයි ව්‍යාපෘතිය යටතේ ඉදිවූ නව වැසිකිළියක ඡායාරූපයක්

 කල්‍යාණපුර පෙරපාසැල් ව්‍යාපෘතිය

මේ ගම්මානගේ පෙරපාසල් පැවැත්වූයේ වරිච්චි බිත්තියෙන් හා පොල් අතු සෙවිලි කළ තාවකාලික ගොඩනැගිල්ලකය. පොල් අතු දිරායෑම නිසා වැසි දිනවල පාසල් පැවැත්වීමට නොහැකි විය. 2015 පොසොන් මස පෙරපාසල් ගොඩනැගිල්ලට මුල් ගල තැබුයේ සභාපති ප්‍රණීත් අභයසුන්දරල, සෙන්පති සුදත් මඩුගල්ලේ හා වෛද්‍ය රානි ප්‍රනාන්දු මහත්ම මහත්මීන් අතිනි. වැඩ නිමවීමට ආසන්න පෙරපාසල්, වෙසක් උත්සවයට පෙර විවෘත කිරීමට බලාපොරොත්තු වෙමු.

පෙරපාසල් ගුරුවරුන් සඳහා රජයෙන් වැටුප් නොගෙවන නිසා දෙමව්පියන්ටද මේ බර උසුලා ගැනීමට අපහසු විය. නුගේගොඩ පදිංචි මල්කාන්ති පිලානවිතාන මහත්මිය ගුරු වැටුප් සඳහා මාසිකව මුදල් ලබා දෙන්නට එකඟ විය.
පෙරපාසල් දරු දැරියන් සඳහා භාවිත කරන පොත් කට්ටලයක් රුපියල් දහසකි. කල්‍යාණපුර වැසියන්ට මේ සඳහා මුදල් සපයා ගැනීම ප්‍රශ්නයක් විය. 2016 වසරට පොත් කට්ටල 25 ක් ලබා දුන් එංගලන්තයේ පදිංචි වෛද්‍ය විජේලක්ෂ්මි ලොනේරා ප්‍රේමරත්න මිය 2017 වසරේද පොත් සඳහා මුදල් සපයන ලදී.

පෙරපාසල් පැමිණීමට වත් හරි හැටි ඇඳුමක් නොමැති වීමද දරු දැරියන්ට ප්‍රශ්නයක් විය. වෛද්‍ය රානි ප්‍රනාන්දු මහත්මියගේ ඉල්ලීමක් මත බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් රෙදි ලැබිණි. අපගේ භාණ්ඩාගාරික සෙන්පති පරාක්‍රම මොල්ලිගොඩ මහතා හා මල්කාන්ති පිලානවිතාන මහත්මිය මැහුම් කුලිය 2016 වසරට ලබා දුන් අතර 2017 වසරේ මැහුම් කුලිය එංගලන්තයේ වෛද්‍ය කාන්ති හරිස්චන්ද්‍ර මහත්මිය විසින් දරන ලදී. එක් දරුවකුට ඇඳුම් කට්ටල 02 බැගින් ලබා දුනි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික ප්‍රචාරක මණ්ඩලයේ සාමාජික පිරිසද කල්‍යාණපුර චාරිකාවට සහභාගී වී දරු දැරියන්ට හා ගම් වැසියන්ට නොයෙකුත් අවශ්‍ය දෑ සැපයීම අපට ශක්තියක් විය.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථාන ශාලාවේ සිල් සමාදන් වන පිරිසද ගමයි පන්සලයි වැඩසටහනට තමන්ගේ ආධාර ලබා දුන්නේ ඉතාමත් ප්‍රීතියෙනි.

නුගේගොඩ පදිංචි මල්කාන්ති පිලානවිතාන මහත්මිය විසින් පෙරපාසල් ගුරුතුමීන් දෙදෙනාගේ මාසික වැටුප සඳහා වර්ෂයක අනුග්‍රහයක් ලබා දුනි.

කල්‍යාණපුර මෙහෙණි ආරාමය

කල්‍යාණපුර ගම්මානයට විහාරයක් නැත. ඒ අඩු පාඩුව සපුරාලමින් මෙහෙණින් වහන්සේ නමක් කුඩා නිවසක වැඩ වෙසෙමින් ආගමික කටයුතු සිදු කෙරිණි.

අපගේ ගමයි පන්සලයි කණ්ඩායම එම ආරාමයට අවශ්‍ය කොට්ට, පැදුරු, පිඟන්, කෝප්ප, සාස්පාන්, විදුලි පංකා, කොහු, ඉදල්, පාපිසි ආදී නොයෙකුත් දේ පූජා කරනු ලැබීය. විහාරස්ථානයක් ලෙස තිබූ විශාලම අඩුපාඩුවක් වූ විහාර ගෙය ගම්වාසීන්ගේ ආධාරයෙන් ගොඩනැගෙද්දී වහලට අවශ්‍ය උලූ කැට සඳහා අවශ්‍ය මුදල් ජාතික ප්‍රචාරක මණ්ඩලය ලබා දුනි. විහාරගෙයි වැඩ කටයුතුද දැන් නිමවීමට ආසන්නය.

ජාතික රෝහලේ වාට්ටු අංක 72, හෙද කාර්යය මණ්ඩලය විසින් කල්‍යාණපුර ගම්මානයේ වැසියන් සඳහා එක් පවුලකට රුපියල් 1,600/= බැගින් වියලි ආහාර පරිත්‍යාග කරන ලදී.

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2017. සියළුම හිමිකම් ඇවිරිණි

සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම මගින් නිර්මාණය කරන ලදි