බෞද්ධ සාහිත්‍ය උත්සවය – 2560/2016

work done

2007 වර්ෂයෙන් ඇරඹි බෞද්ධ සාහිත්‍ය උත්සවය දසවන වරටත් බුද්ධශාසන අමාත්‍යාංශය හා ඒකාබද්ධව 2016 ඔක්තෝම්බර් මස 05 වැනි දින සම්මේලන ශාලාවේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මහත් අභිමානයෙන් පවත්වන්ට විය.

විද්‍යෝදය පරිවේණාධිපති ශාස්ත්‍රාචාර්ය අතිපූජ්‍ය බලංගොඩ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේ මුලසුන හොබවන ලද අතර, ප්‍රධාන දේශනය ගරු බුද්ධශාසන අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා විසින් පවත්වන ලදී. සම්මේලනයේ ගරු සභාපති ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මැතිතුමා විසින් ප්‍රවීන බෞද්ධ ග්‍රන්ථ කර්තෘවරයෙකු මෙන්ම අප රටේ බෞද්ධ පිඹිදීමට විශාල සේවයක් සිදු කළ ඓතිහාසික විද්‍යෝදය පිරිවෙනේ ආදී කර්තෘ අතිපුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන්වහන්සේ ඇතුළුව ශ්‍රී ලංකාවෙන් බිහි වූ විද්වතුන් සිහිපත් කරමින් විශේෂ දේශනයක් උත්සවයට සහභාගී වී සිටි පාසල් ළමයින්, ගුරු භවතුන් ප්‍රධාන කොට පවත්වන ලදී. මූලාසනයේ අනුශාසනාව සිදු කරමින් අතිපූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේද සිසු දරුවන් සහ රැස්ව සිටි ප්‍රබුද්ධ පිරිස වෙනුවෙන් සාහිත්‍ය පොත පත හැදැරීමේ සහ සිංහල භාෂාව නිවැරැදිව හැසිරවීමේ වැදගත්කම පෙන්වා දෙමින් ඉතාමත් වටිනා දේශනයක් සිදු කරන ලදී.

බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා ද සභාව අමතමින් බෞද්ධ සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන් බෞද්ධ මහා සම්මේලනය කැප වී ක්‍රියා කිරීමේ වැඩ සටහනට අමාත්‍යාංශයක් වශයෙන් බුද්ධශාසන අමාත්‍යාංශයේ අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්ට හැකිවීම ගැන සිය සතුට ප්‍රකාශ කළේය. මෙම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කිරිම සඳහා නායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, ඒ අතරට කොළඹ නව කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්වහන්සේ, බම්බලපිටිය ශ්‍රී වජිරාරාමයේ විහාරාධිපති සහ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක ශ්‍රී ධර්මරක්ෂිතවංශාලංකාර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමින්වහන්සේ ද විය. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මැතිතුමා, මහාභාරකාර කොමසාරිස් ජනරාල් නීතිඥ තරංගනී කීනවින්න දිසානායක මැතිණිය ප්‍රමුඛ බුද්ධශාසන අමාත්‍යාංශයේ නිලධාරීන් විශාල පිරිසක් ද, සම්මේලනයේ හිටපු ගරු සභාපති ජගත් සුමතිපාල මැතිතුමා ඇතුළු සම්භාවය ආරාධිතයන් විශාල පිරිසක් ද සහභාගී වූහ.

පාසල් ළමුන් ඇතුළු සියලූ දෙනාටම අතිපුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ පිළිබඳ ග්‍රන්ථය සහ බෞද්ධාලෝක සඟරාවේ පිටපතක් ලබා දෙන ලදී.

2015 වසරේදී පළ කරන ලද බෞද්ධ සිංහල ග්‍රන්ථ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මැතිතුමාගේ ප්‍රධාන කොට කමිටුවක් මගින් පරිශීලනය කොට සම්මාන පිරිනැමීම සඳහා සුදුසු ග්‍රන්ථ තෝරා ගැනීම සිදු විය. ග්‍රන්ථ කතෘන්ට අමතරව විශේෂ අනුස්මරණ සම්මාන දෙකක් සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ජාත්‍යන්තර භාෂා ප්‍රවීනයෙකු වු මහාචාර්ය ගුණපාල මලලසේකර විද්වතාණන් වෙනුවෙන්ද, තමා සතු සියලූ දේපල පරිත්‍යාග කොට මහවැව සිවිරාජ අඳ බිහිරි ළමා නිවාසය ආරම්භ කළ හෙළයේ ප්‍රවීන චිත්‍ර ශිල්පියෙකුව සිටි සොයිලියස් මෙන්දිස් මැතිතුමා වෙනුවෙන්ද සම්මාන පිරිනැමිණ.

සම්මාන ලබා ගත් ග්‍රන්ථකතෘන් සියලූ දෙනාම තමන්ගෙන් රටට ජාතියට සිදු වූ සේවාවන් ඇගයීමක් කොට සම්මාන පිරිනැමීමට බෞද්ධ සාහිත්‍ය උත්සවය සංවිධානය කිරීම පිළිබඳව කෘතවේදී ස්තුතිය පළ වු අතර, ඒ සෑම සම්මානලාභියෙක් පිළිබඳ විස්තර පහත සඳහන් කරමු.

මහාචාර්ය ගුණපාල මලලසේකර ගුණානුස්මරණ සම්මානය 

මෙවර මෙම සම්මානය හිමිවූයේ ශ්‍රී ලංකාවේ ලේඛණ කලාවට විශාල දායකත්වයක් දක්වමින් උගත් සිසු පරපුරක් බිහි කිරීමට වෙහෙස මහන්සි වී ක්‍රියා කොට දැනට වියපත් වියේ පසුවන මහාචාර්ය විමල් ජී බලගල්ලේ මැතිතුමා ඇගයීම සඳහා පිරිනැමීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් සුවිශේෂිව සිහිපත් කෙරේ.

ප්‍රවීන චිත්‍ර ශිල්පි සොයිලියස් මැන්දිස්  ගුණානුස්මරණ සම්මානය 

චිත්‍ර මුර්ති සෞන්දර්ය කලා ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරමින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට එම දැනුම ඛෙදා දෙමින් නව නිර්මාණ බිහි කරමින් ශ්‍රී ලාංකික සමාජයේ සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීම සඳහා දැක් වූ මහ මෙහෙවර අගයමින් දැනට වියපත් වියේ පසුවන මහාචාර්ය ඇල්බට් ධර්මසිරි මැතිතුමාට පිරිනැමීම සුවිශේෂිව සිහිපත් කෙරේ.

විශේෂ ඇගයීම්

නිශ්ශරණාධ්‍යාශයෙන් යුක්තව ජීවිතය පුරා ධර්ම ග්‍රන්ථ රචනා කිරිම, ධර්ම දේශන පවත්වා ජනතාව දැනුවත් කිරිම ආදි ධර්ම සන්නිවේදනයෙහි අනලස් ආකල්ප මෙහෙවර කිරීම අගයමින් බන්දුල අත්තනායක විද්වතාණන්ට පිරිනැමීම සුවිශේෂිව සිහිපත් කෙරේ.

2015 වසරේ නිකුත් වූ බෞද්ධ ග්‍රන්ථ නවයක් සඳහා සම්මාන පිරිනැමීම සිදු වූ අතර එම ග්‍රන්ථයන්, සම්මානලාභීන්ගේ නම් පහත සඳහන් පරිදි විය.

  1. පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමින්වහන්සේ විසින් රචිත Pali Lekhanamala
  2. පූජ්‍ය ආචාර්ය හිඳගල ඤාණාධාර ස්වාමින්වහන්සේ විසින් රචිත දකුණු ඉන්දියාවේ (ද්‍රවිඩ දේශයේ) ථේරවාද බුදු දහමේ ව්‍යාප්තිය
  3. ස්වර්ණ ඉහලගම මහත්මිය විසින් රචිත කවිකාරමඩුව
  4. හසන්ත සමරසිංහ මහතා විසින් රචිත සද්ධබින්දුව හා සද්ධබින්දු පුරාණ ටිකාව
  5. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහින්ද සෝමතිලක මහතා විසින් රචිත පැරණි ශ්‍රී ලාංකේය සමාජය
  6. ගාමිණි සුමනසේකර මහතා විසින් රචිත රාග විරාග
  7. කමලිකා පීරිස් මහත්මිය විසින් රචිත Kularathne of Ananda
  8. දර්ශන රත්නායක මහතා විසින් රචිත නැණ සිළුමිණ නම් උමංදානන්දය
  9. ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය සුධීර ජයවීර මහතා විසින් රචිත Cell Phone සංස්කෘතිය

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2017. සියළුම හිමිකම් ඇවිරිණි

සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම මගින් නිර්මාණය කරන ලදි