බෞද්ධාලෝක වෙසක් උත්සවය 2560/2016

work done

බෞද්ධ මහා සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරන දැවැන්ත උත්සවයක් වශයෙන් සැළකෙන බෞද්ධාලෝක වෙසක් උත්සවය 15 වැනි වරටත් 2016 මැයි 21 දින සිට මැයි 24 දින දක්වා දින හතරක් සම්මේලන මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් බෞද්ධාලෝක මාවත කනත්ත වටරවුමේ සිට තුන්මුල්ල මංසන්ධිය දක්වා සාර්ථකව පවත්වන්නට යෙදින. මෙම වෙසක් උත්සවය අතිගරු ජනාධිපති මෛතී්‍පාල සිරිසේන මැතිතුමාගේ ආශිර්වාදය ඇතිව ජනාධිපති ලේකම් කාර්යාලය ඒකාබද්ධව සිදු වීම විශේෂයෙන් සිහිපත් කල යුතුය. මෙහි සියළු සංවිධාන කටයුතු කමිටුවක් මගින් සිදු කෙරෙන අතර, මෙවර කමිටුවේ සභාපතිත්වය සම්මේලනයේ ගරු උප සභාපතිවරයෙක් වූ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක‍ෂ ජෙනරාල් කේ. ගමගේ මහතා උසුලන ලද අතර, කමිටු ලේකම් වශයෙන් ගරු උපසභාපති උපුල් රූපසිංහ මහතා, කමිටු භාණ්ඩාගාරික වශයෙන් සෙන්පති පරාක්‍රම මොල්ලිගොඩ මහතා සහ සම්බන්ධිකාරක වශයෙන් තුෂාර දිලූම් වාහලතන්ත්‍රි මහතා කටයුතු කරන ලදී.

කමිටුවේ කැපවීම මත වර්ණවත් වෙසක් උළෙලක් දැක බලා ගැනීමට බෞද්ධාලෝක මාවතට ඇදී ආ විශාල ජන ගංගාවට හැකි විය. මහනුවර ඓතිහාසික ගෙඩිගේ විහාරයේ සිට වැඩම කරන ලද සර්වඥධාතූන් වහන්සේලා වන්දනාමාන කිරිමට අවස්ථාව සලසා දීමත්, වෙසක් තොරණ, උදාන ගී සංදර්ශන, බෞද්ධාලෝක මාවත දිගේ ප්‍රදර්ශනය වූ වෙසක් කූඩු, පාසැල් ළමුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය, දන්සැල් පැවැත්වීම යනාදි අංගයන්ගෙන් සමන්විත විය.

මෙවර පූර්ණ මාධ්‍ය අනුග්‍රහය ස්වාධීන රූපවාහිනී සේවය මගින් ලබා දුන් අතර එම ආයතනය හා බැඳුනු ලක්හඬ ගුවන් විදුලිය මගින් ශ්‍රව්‍ය මාධ්‍ය අනුග්‍රහය දිනපතා වෙසක් කාලය තුල ලබා දින. ස්වාධීන රූපවාහිනිය මගින් ප්‍රථම වරට ඩිජිටල් තාක්ෂණය යොදා ගැණුන කුඩා තොරණ් ප්‍රදර්ශනය සඳහා අවස්ථාවක් ලබා දුන් අතර, මේ තුලින් දර්ශනීය කුඩා තොරණ් රාශීයක් බෞද්ධාලෝක මාවත තුළ දැක බලා ගත හැකි විය. තාක්ෂණය නිසා බිහිවූ දක්ෂ කලා ශිල්පීන්ව තෝරා ගැනීම ස්වාධීන රූපවාහිනී සේවය මගින් සිදු කල අතර, මේ සඳහා විශාල උනන්දුවක් ඇති වීම නිසා මනරම් කුඩා තොරණ් රාශියක් මහජනයාට සියැසින් දැක බලා ගත හැකි විය. බෞද්ධාලෝක වෙසක් උත්සවය පැවති දින හතරක කාලය තුළ ආරම්භක දිනයේ සිට සමාප්ති උළෙල දක්වා සංවිධාන ක්‍රියාදාමය පිළිබඳව පහත සඳහන් පරිදි සටහන් තැබීමට අප අදහස් කරෙමු.

ආමිස සහ ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් වෙසක් පුන් පොහොය දිනයේදී සම්මේලන ශාලාවේ පැවති පෙහෙවස් සමාදන් වීමේ වැඩ සටහන විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සත්භාවය පෙරදැරි කොට ගෙන සිදුවිය. ස්වාධීන රූපවාහිනී සේවය හා ලක්හඬ ගුවන් විදුලිය ඒකාබද්ධව සජීවීව මෙහෙවන ලද වැඩසටහන නිසා බොහෝ පිරිසකට නිවෙස්වල සිට ධර්ම දේශනාවට සවන් දීමට හැකි විය. මෙවර ධර්ම දේශනාවේ ධර්ම කතිකාවත සඳහා පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන නායක ස්වාමින්වහන්සේ වැඩම කළ අතර, ගිහි පාර්ශවය නියෝජනය කරමින් සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මැතිතුමා සහභාගී විය. උදේ සහ දවල් දානමය කටයුතු ගිලන්පස පිලිගැන්වීම, ධර්ම කථීකයන් වහන්සේලාගේ වැඩම කිරීම මේ ආදී සියළු කටයුතු සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ සහ ගරු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඝෘජු දායකත්වයෙන් ඉතා උසස් අන්දමින් සිදු කෙරිනි.

ස්වාධීන රූපවාහිනී සේවය මාසිකව සෑම පොහෝ දිනකම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ දායකත්වය සමගින් සිදු කරන ශාසනාලෝක වැඩ සටහනද මෙවර සම්මේලන භූමියේ සිට සජිව විකාශනය කිරීමද විශේෂයෙන් සඳහන් කල යුතුය.

සිල් පවාරණ කටයුතු වලින් පසුව ආරියපාල ශාලාවේ සර්වඥධාතුන් වහන්සේලා තැන්පත් කොට තිබූ විශේෂ ප්‍රදර්ශන කුටිය විවෘත කිරීමත්, එම වේලාවට සමගාමීව වෙසක් තොරණ විවෘත කිරීම සිදු විය. රාත්‍රී කාලයේ විදුලි බුබුළු ආලෝකයෙන් සම්මේලන භූමිය සහ බෞද්ධාලෝක මාවත බබලන්නට විය. මේ සඳහා විදුලි බලය, විදුලිබල හා බලශක්ති ගරු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහය මත ලබා දීම පිළිබඳව කෘතවේදීව සිහිපත් කරමු.

ආරම්භක දින උත්සවයෙන් පසුව සමාප්ති උළෙල දක්වා දිනපතා සර්වඥධාතුන් වහන්සේලා වෙත පූෂ්පෝපහාර පූජාව, වෙසක් තොරණ විවෘත කිරිම මහා සංඝයා වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සහ සම්භාව්‍ය ආරාධිත භවතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

දිනපතා අනුශාසනාව සඳහා වැඩම කල මහා සංඝයාවහන්සේලා අතර ප්‍රධාන වශයෙන් කොළඹ නව කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රීපිටකාචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්වහන්සේ,ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය අධ්‍යාපනපති පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සාභිධාන නායක ස්වාමින්වහන්සේ, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක ශ්‍රී ධර්මරක්ෂිතවංශාලංකාර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමින්වහන්සේ, ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධානසංඝනායක ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද නායක ස්වාමින්වහන්සේ, මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන නායක ස්වාමීන්වහන්සේ වූ අතර, විවෘත කිරීමේ අවස්ථාවන්ට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මැතිතුමා, ප්‍රාථමික කර්මාන්ත ගරු අමාත්‍ය දයා ගමගේ මැතිතුමා,ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මැතිණිය, ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මැතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කරුණාසේන කොඩිතුවක්කු මැතිතුමා, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ජගත් විෙජ්වීර මැතිතුමා,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මැතිතුමා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලයේ ආගමික කටයුතු අධ්‍යක‍ෂ බ්‍රිගේඩියර් පී.කේ.ඒ.පියසේන මැතිතුමා,සබරගමු පළාත් හිටපු ගරු ආණ්ඩුකාර වි.ජ.මු.ලොකුබණ්ඩාර මැතිතුමා, ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගී විය.

ඓතිහාසික ගෙඩිගේ විහාරස්ථානයේ සිට සර්වඥධාතුන් වහන්සේලා වැඩම කිරීම රථ පෙරහැරකින් සිදු කළ අතර, මේ නිසා මෙවර කොළඹ මාර්ගයේ විශාල සැදැහැවතුන් පිරිසකට වන්දනා මාන කිරීමට හැකි විය. ගෙඩිගේ රාජමහාවිහාරාධිපති, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් ශාස්ත්‍රපති පූජ්‍ය කෝමාරිකේ රාහුල ස්වාමින්ද්‍රයන්වහන්සේගේ කරුණා ගුණ මහිමයෙන් සහ ස්වාධීන රූපවාහිනි සේවය සහ ලක්හඬ ගුවන් විදුලි සේවයේ සංවිධානකත්වයෙන් සිදු කරන ලදී.

මෙවර වෙසක් උත්සවයේ තේමාව “වෙසක් අසිරිය විඳගමු සිතින්, වැළකෙමු මතින්” වූ අතර ඊට සරිලන පරිදි වෙසක් තොරණෙහි කතා වස්තුව කුම්භ ජාතකය ඇසුරෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ විපාක පිළිඹිබු වන වෙසක් තොරණ නිර්මාණය කරන ලදී. මෙම තොරණ රැස්ව සිටි ජනතාවගේ බොහෝ අවධානයට යොමු විය.

උදාන ගී (භක්ති ගීත) සංදර්ශන දිනපතා වේදිකා දෙකකදී පැවැත්වුණු අතර එයින් එක වේදිකාවක් සම්මේලනය ඉදිරිපිටදීත් අනෙක් වේදිකාව ටොරින්ටන් චතුරශ්‍ර ආකේඩි උද්‍යානයේදි තිබින. මෙම වේදිකා දෙකටම දිවයිනේ සෑම දෙසින් භක්ති ගීත කණ්ඩායම් රාශීයක් සහභාගී වූ අතර, ඒ අතරට එඩ්වඩ් ජයකොඩි ශූරීන් වැනි ප්‍රවීන ගායක ගායිකාවන්ගේ සංදර්ශනද දැක ගන්නට ලැබිනි. මෙම සංදර්ශන වෙසක් සිරි නැරඹීමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනයාට මහත් වූ අමන්දානන්දයක් ඇතිකරලන්නට වූ අතර, ඔවුන් ඉතාමත් උද්යෝගයකින් නරඹන්නට වීම අපගේ සතුටට හේතු විය. වාර්තාවන පරිදි පාසල් ළමුන්ගේ සංදර්ශන 04 ක් ආයතන අංශයෙන් සංදර්ශන 09 ක්ද ඉදිරිපත් කෙරින.

බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කොට ගනිමින් වෙසක් කූඩු ප්‍රදර්ශනය සඳහා පාසැල් මට්ටමෙන් පාසැල් ළමුන් සහභාගී කර ගැනීම විශේෂයෙන් සඳහන් කල යුතුය. වෙසක් කූඩු සෑදීම කුඩා කල සිටම හුරු පුරුදුව සිටි අප ජන සමාජයට එය කෙමෙන් බැහැර වන අවස්ථාවක පාසැල් මට්ටමෙන් සිසු දරු දැරියන් වෙසක්කූඩු කලාවට උනන්දු කොට දායක කර ගැනීමට සංවිධායකයන් තැබූ බලාපොරොත්තුව එලෙසින්ම ඉටු විය. මේ නිසා මහජනතාවට වෙසක් කූඩු නිර්මාණ රාශියක් මෙවර දැක බලා ගත හැකි විය.

සම්බුදු රජාණන් වහන්සේගේ චරිතාපදානයේ විවිධ අවස්ථාවන් පිළිබිඹු කරන ජ්‍යේෂ්ඨ, කණිෂ්ඨ සහ ප්‍රාථමික වශයෙන් චිත්‍ර නිර්මාණ රැසක් පාසැල් ළමුන්ගෙන් බිහි වූ අතර එම චිත්‍ර කලා කුසලතාවයන් ඇගයීමට ලක් කරන්නට වීම පිළිබඳව විශේෂයෙන් සඳහන් කල යුතුය.

බෞද්ධාලෝක වෙසක් සමාප්ති උළෙල බෞද්ධාලෝක වෙසක් උත්සවයේ විශේෂ තැනක් ගනු ලබන අතර මෙවර සමාප්ති උළෙල පැවැත්වීම සඳහා ටොරින්ටන් චතුරස්‍රයේ අලූතින් ඉදිකරන ලද දර්ශනීය ආකේඩ් උද්‍යානයේ එළිමහන් රංගපීඨයේදි සිදු කරන්නට හැකි වීම නිසා දර්ශනීය වෙසක් උළෙලක නිමාවක් එදින බෞද්ධාලෝක මාවතේ එක් රැස් වූ මහජනතාවට දැක බලා ගැනීමට ඉඩ සැලසිනි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල සංගීත කණ්ඩායමේ දායකත්වයෙන් සහ ස්වාධීන රූපවාහිනී සේවය සහ ලක්හඬ ගුවන් විදුලිි සේවය ඒකාබද්ධව මෙම සමාප්ති උළෙලට ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නට විය.

සමාප්ති උළෙලේදී කොළඹ ටවර් හෝල් රංග පදනමේ ආරාධිතව දිවයිනේ ප්‍රවීන ගායක ශීල්පීන් ශිල්පිනියන් රැසකගේ බොදු ගී හඩින් උත්සවය වර්ණවත් වූ අතර ඒ අතරට ගුවන් හමුදාවේ නර්ථන කණ්ඩායම් එක්වන්නට විය. සමාප්ති උළෙල ජනමාධ්‍ය ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ ගරු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මැතිතුමන්ලා ඇතුළු ප්‍රභූවරුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී. සමාප්ති උළලේදී ජයග්‍රාහකයින් ඇගයීමට ලක් කොට තිළිණ හා මුදල් ත්‍යාග පිරිනමන්නට විය.

සමස්තයක් වශයෙන් වෙසක් උත්සවය සාර්ථකව සංවිධානය කර ගැනීම සඳහා නන් අයුරින් කැප වී ක්‍රියා කළ අනුග්‍රාහකත්වයන් ලබා දුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන් මුදල් ආධාර කළ මූල්‍යායතන මෙහිදී විශේෂයෙන් සඳහන් කොට අපගේ කෘතවේදිත්වය පළ කිරීම යුතුකමක් ලෙස සළකමු.

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය මැදිහත් වී ලබා දෙන ලද සහයෝගය අපමණ වූ අතර, ඊට එක් වූ අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මැතිතුමා ඇතුළු එම කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තුතිය පිරිනමමු.

බෞද්ධාලෝක වෙසක් කලාපය ආරම්භ කිරීමට ප්‍රථම සිට පූර්ව ප්‍රචාරක කටයුතු ලබා දෙමින් වෙසක් උත්සවය පැවති කාලය තුළ සජීව සහ පටිගත කළ ප්‍රචාරයන් ලබා දීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වශයෙන් ස්වාධීන රූපවාහිනි සේවය සහ ලක්හඬ ගුවන් විදුලියේ මාධ්‍ය ජාලයේ ප්‍රචාරක අනුග්‍රහය අප හට ලැබුණු අතර ඒ සඳහා කැප වූ එහි සභාපති හේමසිරි ප්‍රනාන්දු මැතිතුමා ප්‍රමුඛ සුවිශේෂි කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාව කර ගනිමු. මුද්‍රිත මාධ්‍යයෙන් අනුග්‍රහය දැක් වු ලක්බිම පුවත්පත් ආයතනයේ ඊට දායකත්වය දැක් වු සුමති සමූහ ව්‍යාපාරයේ හිටපු ගරු සභාපතිනි ආචාර්ය මිලිනා සුමතිපාල මැතිණිය, කළමණාකාර අධ්‍යක්ෂ ජගත් සුමතිපාල මැතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ අවස්ථාවේදී සිහිපත් කොට කෘතවේදී ස්තුතිය පළ කර සිටිමු.

බෞද්ධාලෝක වෙසක් කලාපයේ දර්ශනීය වෙසක් පහන් කුඩු 81 ක් ප්‍රදර්ශනය කරන්නට වූ අතර, ඒවා කේවල, ආයතන සහ පාසල් අංශ තුනෙන් වෙන් කොට දැක්විය හැක. අප මුල දී සඳහන් කළ පරිදි මුල් වරට පාසල් ළමුන් සම්බන්ධ කර ගනිමින් වෙසක් කුඩු නිර්මාණ කලාව අතරට ගෙන යාමට ක්‍රියා කෙරිණ. පහන් කුඩු 27 ක් කේවල අංශයෙන්ද, ආයතන මට්ටමෙන් කුඩු 41 ක්ද, පාසල් අංශයෙන් කුඩු 13 ක්ද විය.

ස්වාධීන රූපවාහිනි සේවය මගින් මුල්ම වරට ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් අලංකාරවත් පුංචි තොරණ් 08 ක්ද, තවත් සල් උයන් 06 ක් සඳහා දායකත්වය දක්වන්නට විය. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඉදිරිපත් කරන්නට යෙදුන නරකාදිය (අපාය) පිළිබඳ නිර්මාණය මිනිස් සිතට පණිවිඩයක් දෙන්නට සමත් වුවා යැයි සිතමු. මේ සියලූ නිර්මාණ ඉදිරිපත් කළ හමුදා ශිල්පීන් ඇතුළු සියලූම ආයතන වෙතටත් විශේෂයෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ පාසල් ළමුන්ට, සම්මේලනයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ට සහ පාලක සභා නිලධාරින්ටත්, පාලක පාලිකාවන්ට කෘතවේදීව සිහිපත් කිරීමට අවස්ථාව කර ගනිමු.

වෙසක් පහන් කුඩු නිර්මාණකරුවන් වෙනුවෙන් ත්‍යාග සහ සම්මාන පිරිනැමීම සඳහා විනිශ්චය ඉතා වැදගත් වූ අතර, ඒ සඳහා සම්බන්ධ වු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිරිපාල මාලිම්බඩ මහතා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ ඩබ්.පියරත්න මහතා විශේෂයෙන් සිහිපත් කළ යුතුය.

සම්මේලනයේ ප්‍රධාන ශාලාවේදී අන්තරාය ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රදර්ශන කුටියටත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන කුටියටත් වෙසක් කලාපය නැරඹීම සඳහා පැමිණි විශාල ජනකායගේ අවධානය යොමු විය. මත්ද්‍රව්‍ය භාවිතයෙන් විනාශ වෙන ජීවිත පිළිබඳවත් ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් පණිවිඩයක් ලබා දීමට සමත් විය. ඒ සඳහා දායකත්වය දැක් වු ආයතන වලට අපගේ ස්තුතිය පිරිනැමිය යුතුය.

වෙසක් කලාපය තුළ දන්සල් 14 ක් තිබු අතර, සුමති සමූහ ව්‍යාපාරය විසින් දින හතරක් දන්සල් පැවැත්වීමට ක්‍රියා කර තිබුණි. හදිසියේම ඇති වු ගංවතුර විපත් නිසා බොහෝ දන්සල් අවලංගු කොට එම ආධාර ද්‍රව්‍ය විපතට පත් ජනතාව වෙත ලබා දිමට ක්‍රියා කරන්නට විය.

බෞද්ධාලෝක මාවතේ කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල මංසන්දිය දක්වා මාර්ගය දෙපස දර්ශනීය අටපට්ටම් වෙසක් පහන් කුඩු එක දිගට එල්ලා ආලෝකවත් කිරිම නිසා ඇති වූ චමත්කාර දර්ශනය සියලූ පහන් සිත් පුබුදුවන්නට සමත් වූ අතර, ඒ සඳහා දායකත්වය දැක් වු ත්‍රිවිධ හමුදාවන්ටත්, ශ්‍රී ලංකා පොලිසියටත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත් අපගේ ස්තුතිය පිරිනමන අතර, ඒ වෙනුවෙන් මාර්ගෝපදේශකත්වය ලබා දුන් හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා, සිවිල් ආරක්ෂක ජනරාල්තුමා සහ සියළුම නිලධාරීන් කෘතවේදිව සිහිපත් කෙරේ.

බෞද්ධාලෝක වෙසක් කලාපය ආරම්භ කිරීමෙන් පසු පසුගිය වර්ෂ 15 ක කාලය තුළ විදුලි බල අමාත්‍යාංශයෙහි අනුග්‍රහය මත විදුලි බලය ලබා දිම සිදු වූ අතර, ඒ සඳහා කැප වී ක්‍රියා කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු දිවා රෑ දායක වූ ඉංජිනේරුතුමන්ලා සහ ඩිපෝ ප්‍රධානීන් ඇතුලූ සේවක මණ්ඩලය මෙහිදී විශේෂයෙන් සිහිපත් කෙරේ.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයටත්, සනීපාරක්ෂක කටයුතු, ජලය ලබා දීම ඇතුළු සියළු කටයුතු වලදී අංශ භාර ප්‍රධානීන්ගේ සිට සුළු සේවක මහතා දක්වා අපගේ ස්තුතිය පිරිනමනු ලැබේ.

සාර්ථක බෞද්ධාලෝක වෙසක් උත්සවයක් 15 වැනි වරටත් සංවිධානය කර ගැනීමට සම්මේලනයේ ගරු සභාපති ආචාර්ය ප්‍රණිත් අභයසුන්දර මැතිතුමාගෙන් පටන් ගරු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියළුම නිලධාරින්, විධායක මණ්ඩල නිලධාරී මහත්ම මහත්මීන්ටත්, ස්වේච්ජාවෙන් ඉදිරිපත්ව ක්‍රියා කළ සියලූ දෙනාටමත් අපගේ කෘතවේදී ස්තුතිය පිරිනමන අතර, බෞද්ධාලෝක වෙසක් කමිටුව ඔවුන් වෙත පැවරී තිබුණ භාරදූර වගකීම මැනවින් ඉටු කිරිම නිසා වෙසක් සිරි නැරඹීමට පැමිණි දහස් සංඛ්‍යාත ජනකායට දින හතරක කාලයක් පුරා සාර්ථක වෙසක් උත්සවයක් දැක බලා ගත හැකි විය.

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2017. සියළුම හිමිකම් ඇවිරිණි

සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම මගින් නිර්මාණය කරන ලදි